IMF යෝජනාවට ඡන්දෙ දීපු සහ නොදීපු මන්ත්‍රීවරුන්

IMF යෝජනාවට ඡන්දෙ දීපු සහ නොදීපු මන්ත්‍රීවරුන්

April 28, 2023   08:31 pm

ශ්‍රී ලංකාවට අදාළව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම ක්‍රියාත්මක කිරීමට පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගැනීම සඳහා වූ යෝජනාව වැඩි ඡන්ද 95කින් අද (28) සම්මත විය.

ඊට පක්ෂව ඡන්ද 120 ක් හිමිවූ අතර විරුද්ධව හිමිවූයේ ඡන්ද 25ක් පමණි.

ජාතික ජන බලවේගය පමණක් නොව ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රමුඛ නිදහස ජනතා සභාවේ සාමාජිකයන් සහ විමල් වීරවංශ මහතා ප්‍රමුඛ උත්තර ලංකා සභාගයේ සාමාජිකයින් ද යෝජනාවට විරුද්ධව ඡන්දය භාවිත කර තිබුණි.

සමගි ජන බලවේගය ඇතුළු පක්ෂ කිහිපයක් ද ඡන්දය භාවිත කිරීමෙන් වැළකී සිට තිබේ.

ශ්‍රී ලංකාව සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ අරමුදල් පහසුකම යටතේ වූ ගිවිසුම ක්‍රියාත්මක කිරීම පිළිබඳ විවාදය ආරම්භ වුයේ පසුගිය 26 වනදාය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආණ්ඩුවට සහාය පළ කරන මන්ත්‍රිවරුන් යෝජනාවට පක්ෂව ඡන්දය ලබාදුනි.

මේ අතර පොදුජන පෙරමුණෙන් ස්වාධීන වී විපක්ෂයේ අසුන්ගෙන සිටින අනුර ප්‍රියදර්ශන යාපා, ජෝන් සෙනෙවිරත්න සහ සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය යෝජනාවට පක්ෂව ඡන්දය ලබාදීමද විශේෂත්වයකි. 

එමෙන්ම සමගි ජන බලවේගය නියෝජනය කරන ඒ. එච්. එම්. ෆවුසි මහතාද යෝජනාවට පක්ෂව ඡන්දය ලබා දුනි. 

ජාතික ජන බලවේගය, විමල් වීරවංශ මන්ත්‍රිවරයා ප්‍රමුඛ උත්තර ලංකා සභාගයේ සාමාජිකයන්, ඩලස් අලහප්පෙරුම මන්ත්‍රිවරයා ප්‍රමුඛ නිදහස ජනතා සභාවේ සාමාජිකයන් යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර තිබුණි.

සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, ස්වාධීන මන්ත්‍රි පාඨලී චම්පික රණවක යෝජනාවට ඡන්දය භාවිත කිරීමෙන් වැළකී තිබුණි.