අරන් යන්නම හදපු බඩු

අරන් යන්නම හදපු බඩු

November 6, 2018   06:21 pm

නීතිවිරෝධී ලෙස රැගෙන යෑම සඳහාම විශේෂයෙන්ම සකස් කළ ස්වර්ණාභරණ තොගයක් සිංගප්පූරුවේ සිට මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද(06) දහවල් කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය.

මොහු 46 හැවිරිදි මහනුවර ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකි.

ඔහු අද දින දහවල් 11.00 ට සිංගප්පූරුවේ සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්- 307 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ, එහි කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති " හරිත මාවත " ඔස්සේ ගුවන් තොටුපොළෙන් පිටව යමින් සිටියදී රේගු නිලධාරීන් විසින් මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර තිබුණි.

ඔහු මෙම රන් මාල තොගය සිය ගෙලෙහි පැළද ගෙන සහ තමන් හැඳ සිටි කලිසමේ සාක්කුවල සඟවා සිටිය බැව් රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසූ අතර, එහි රුපියල්  (89,98,740 ) අසූ නව ලක්ෂ , අනූ අට දහස් ,හත්සිය හතලිහක් වටිනා  කිලෝ ග්‍රෑම් 01 යි ග්‍රෑම් 500 ක් පමණ බර රන් මාල තොගයක් තිබූ බවද පැවසීය. 

මෙම අත්අඩංගුවට ගැනීම සහ මේ පිළිබඳව විමර්ශන කටයුතු ශ්‍රී ලංකා රේගුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ස්ටැන්ලි සේනාරත්න මහතාගේ උපදෙස් මත, කටුනායක ගුවන් තොටුපොළ රේගු අධ්‍යක්ෂ එම්.ඒ.කරුණාරත්න මහතාගේ අධීක්ෂණය යටතේ තවත් නිලධාරීන් පිරිසක් මෙය මෙහෙයවනු ඇත.