කසල ප්‍රතිචක්‍රීකරන මධ්‍යස්ථානයකට ගම්මුන්ගේ විරෝධය
June 10, 2018 05:08 pm
හාලාවත ප්‍රාදේශීය සභාව විසින් මාදම්පේ සෙම්බුකට්ටිය ප්‍රදේශයේ පවත්වා ගෙන යන කසල ප්‍රතිචක්‍රීය කරන මධ්‍යස්ථානය ක්‍රමවත් පරිදි ක්‍රියාත්මක නොවන බැවින් එම ස්ථානයට කසල ගෙනවිත් බැහැර කිරීමට ගම්වාසීන් විරෝධය දක්වා තිබේ.
පසුගිය 09 වැනිදා දහවල් මෙම විරෝධතාවය සිදු විය.
සෙම්බුකට්ටිය - ලියගොමුව වත්ත නම්වූ කට්ටි කර අලෙවි කරන ලද ඉඩමක අක්කර 02 ක භූමි භාගයක් තුළ මෙම කසල ප්‍රතිචක්‍රීය කරන මධ්‍යස්ථානය පවත්වාගෙන යයි.මෙම මධ්‍යස්ථානය අවට නිවාස විශාල ප්‍රමාණයක්ද ඉදි කර ඇත.
මෙම ස්ථානයට කසල ගෙන ඒමට පෙර කිසිදු වර්ගීකරණයක් සිදු නොකරන බවත්,සියළු කසල වර්ගීකරණය කරණු ලබන්නේ මෙම ස්ථානයේදී බවත් ගම්වාසීන් පවසයි.
වර්ගීකරණය කිරීමෙන් අනතුරුව කොම්පෝට්ස් සෑදීම සදහා සුදුසු කසල ලබා ගෙන ඉතිරි සියළු නොදිරන කසල භූමියේ තැන තැන වළ දමා ඇති බවද ඔවුන් කියා සිටියි.
මෙම තත්ත්වය නිසා තමන් දැඩි පාරිසරික හානියකට මෙන්ම මැසි මදුරු උවදුරකට මුහුණ පෑමට සිදුවී ඇති බවද ගම්වාසීන් සදහන් කරයි.
කසල ප්‍රතිචක්‍රීයකරන මධ්‍යස්ථාන භූමියේ ගොඩ ගසා ඇති භාවිතයෙන් ඉවත් කරන ලද ටයර් තොගයක මදුරු කීටයින් සිටින බවද ගම්වාසීන් පෙන්වා දෙන ලදි.
ගම්වාසීන් විසින් දක්වන ලද විරෝධතාවය හේතුවෙන් බැහැර කිරීම සඳහා කසල ගෙන එන ලද වාහන දෙකකට භූමියෙන් පිටත ගාල් කර සිටීමට සිදු විය.
මාදම්පේ පොලීසියද එම ස්ථානයට පැමිණ ගම්වාසීන් සමඟ සාකච්ඡා කර ඇති අතර අනතුරුව එම භූමියේ ගොඩ ගසා තිබූ කසල වෙනත් ස්ථානයකට රැගෙන යාමට හලාවත ප්‍රාදේශීය සභාවේ නිලධාරීන් කටයුතු කරන ලදි.
එමෙන්ම මෙම මස 11 වැනිදා ගම්වාසීන් හා ප්‍රාදේශීය සභාවේ බලධාරීන් අතර මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්වීමටද තීරණය කර තිබේ.