සයිටම් තීන්දුව-වෛද්‍ය සභාව ඉදිරිපත් කළ අභියාචනය දින නියමයක් නැතුව කල්යයි

සයිටම් තීන්දුව-වෛද්‍ය සභාව ඉදිරිපත් කළ අභියාචනය දින නියමයක් නැතුව කල්යයි

May 30, 2018   03:53 pm

මාලබේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ වෛද්‍ය උපාධිධාරී සිසුන් ලියාපදිංචි කරන මෙන් මෑතකදී අභියාචනාධිකරණය විසින් දුන් නියෝගයක් බලරහිත කරන මෙන් ඉල්ලා ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් ඉදිරිපත් කළ අභියාචනය පිළිබඳ විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුව ප්‍රකාශ කිරීම දින නියමයක් නොමැතිව කල් තබා තිබේ.

බුවනෙක අලුවිහාරේ මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගය පැවැත් විය.

ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කියා සිටියේ මාලබේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ වෛද්‍ය උපාධිධාරී සිසුන් ලියාපදිංචි කරන මෙන් ඉකුත් වසරේ ජනවාරි මස 30වන දා අභියාචනාධිකරණය විසින් තම සභාව වෙත තීන්දුවක් ලබා දුන් බවයි.

එම තීන්දුව නීතියට පටහැනි බවත් එය අහෝසි කරන මෙන් ඉල්ලා  ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මෙම විශේෂ අභියාචනය ඉදිරිපත් කර තිබුණි.

එහෙත් සයිටම් ආයතනය සහ එම ආයතනයේ සිසුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ කියා සිටියේ වෛද්‍ය උපාධි ප්‍රදානය කිරීම සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම විසින් සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට බලය ලබාදී ඇති බවයි.

මේ හේතුවෙන් සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ උපාධිදාරීන් ලියාපදිංචි කිරීම ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට බලයක් නොමැති බවද එම නීතිඥවරුන් අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.