වසංගත රෝග ව්‍යාප්තවීමේ අවදානමක්
May 28, 2018 10:45 pm
ගංවතුර තත්ත්වයෙන් බලපෑම් එල්ල වූ ප්‍රදේශවල වසංගත රෝග ව්‍යාප්තවීමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.
විශේෂයෙන් අවතැන් කඳවුරුවල සිටින ජනතාව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ ද සහාය ඇතිව විධිමත් සෞඛ්‍යාරක්ෂණ ක්‍රම අනුගමනය කළයුතු බවයි වසංගත රෝග විද්‍යා ඒකකය පවසන්නේ.
දිවයින වටා මුහුදු ප්‍රදේශයේ සුළං තත්වයේ වැඩිවීමක් අද දිනයේ අපේක්ෂා කරන අතර මන්නාරම සිට පුත්තලම, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා මඩකළපුව දක්වා මුහුදේ පැයට කිලෝමීටර් 70 ක පමණ සුළං පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පෙන්වා දෙන්නේ අදාළ ප්‍රදේශවල ධීවර සහ නාවුක ප්‍රජාව වඩාත් අවධානයෙන් පසුවිය යුතු බවයි.
මේ අතර පඬුවස්නුවර මගුලාගම ප්‍රදේශයේදී සැඩපහරට හසුව අතුරුදන්ව සිටි යතුරුපැදිකරුගේ මළ සිරුර අද ප්‍රදේශවාසීන් විසින් සොයා ගත්තේය.
දින 04 කට පසුව එම මළ සිරුර හමුව තිබුණේ ඔහු සැඩපහරට හසුවූ ස්ථානයේ සිට කිලෝමීටර 03 ක පමණ දුරකින් පිහිටි මහපාලම අසලදීයී.
ඒ අනුව ආපදා තත්ත්වයත් සමඟ වාර්තා වූ පුද්ගල මරණ සංඛ්‍යාව 24 දක්වා ඉහළ යයි.
මේ අතර මාදම්පේ ගල්මුරුව දකුණ ගල්වල ප්‍රදේශයේදී ගංවතුරට හසුවූ තිදෙනෙකු බේරාගැනීම වෙනුවෙන් දිවිපිදූ 29 හැවිරිදි පොලිස් සැරයන් ඩිලාන් සම්පත් මහතාගේ දේහය අවසන් ගෞරව දැක්වීම සඳහා ඊයේ රාත්‍රියේ මාදම්පේ පොලිස් ස්ථානයේ තැන්පත් කෙරුණි.
දේහය එම ස්ථානයේ සිට ඔහුගේ නිවස වෙත රැගෙන යන අවස්ථාවේ ගල්මුරුව ප්‍රදේශවාසීන් ද ඔහුට අවසන් ගෞරව දැක්වීමට පැමිණ සිටියේය.
පසුව ගිරිඋල්ල මල්ගමුව පිහිටි ඔහුගේ නිවසේ දේහය තැන්පත් කෙරුණු අතර පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ද එම නිවසට පැමිණ දේහයට අවසන් ගෞරව දැක්වීය.
මෙහිදී පොලිස් සේවා වනිතා ඒකකය මඟින් පරිත්‍යාග කළ රුපියල් 50,000 ක මූල්‍යාධාරය පොලිස්පතිවරයා විසින් ඩිලාන් සම්පත්ගේ මව්පියන් වෙත ප්‍රදානය කරනු ලැබීය.
දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ මල්ගමුව පොදු සුසානභූමියේදී සිදු කෙරුණි.
මේ අතර හලාවත මහවැව ප්‍රදේශයේ ගංවතුරින් යටවූ මාර්ගවල ගමන් ගන්නා වාහනවලින් පිරිසක් කප්පම් අයකර ගන්නා ආකාරය අද දෙරණ ඊයේ වාර්තා කළේය.
එම අනාවරණයෙන් පසු ආපදා කළමනාකරණ අමාත්‍ය දුමින්ද දිසානායක මහතා සිද්ධියට සම්බන්ධ පුද්ගලයින්ට වහා නීතිය ක්‍රියාත්මක කරන ලෙස පොලිස්පතිවරයාට උපදෙස් ලබා දී තිබේ.
පුත්තලම දිස්ත්‍රික්කයට බලපෑ අධික වර්ෂාවත් සමඟ මුන්දලම පුලිච්චාකුලම වැව පිටාර ගැලීම හේතුවෙන් වගා අක්කර 400 ක් පමණ විනාශ වී තිබේ.
බත්තුළුඔයේ ජලය පුලිච්චාකුලම වැවට රැස් කර ගැනීමෙන් ගොවිතැන් අදාළ කළාපයේ ගොවිතැන් සිදුවන අතර මෙවර පුලිච්චාකුලම වැවේ බැම්ම ද ස්ථාන කිහිපයකින් බිඳී යෑම මෙම වගා විනාශයට හේතුවයි.
මේ අතර ආනමඩුව කොට්ටුකච්චිය කච්චිමඩුව වැව තවදුරටත් පිටාර ගලමින් පවතින අතර සැඩපහර හේතුවෙන් මතුවන මත්ස්‍යයින් අල්ලාගැනීම සඳහා ප්‍රදේශවාසීන් කටයුතු කර තිබේ.
මේ අතර ගංවතුර තත්ත්වයෙන් බලපෑම් එල්ල වූ ප්‍රදේශවල වසංගත රෝග පැතිරී යාමේ අවදානමක් පවතින බැවින් විධිමත් සෞඛ්‍යාරක්ෂණ ක්‍රම අනුගමනය කළයුතු බව සෞඛ්‍ය අංශ ජනතාවට දැනුම් දෙයි.