ශ්‍රී ලංකා සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම පිටුපස සිටින්නේ අර්ජුන මහේන්ද්‍රන් බව බන්දුල කියයි

ශ්‍රී ලංකා සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම පිටුපස සිටින්නේ අර්ජුන මහේන්ද්‍රන් බව බන්දුල කියයි

May 13, 2018   03:53 pm

 

ශ්‍රී ලංකා සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම පිටුපස සිටින්නේ හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

අද (13) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා ප්‍රකාශ කළේ ඇවිලෙන ශ්‍රී ලංකා ආර්ථික ගින්නට රජය පෙට්‍රල් විසිකළ බවයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රජය පෙරළා දින 100 විප්ලවය ලෙස ව්‍යාජ විනාශකාරී වැඩ පිළිවෙලක් මෙහෙයවූ පුද්ගලයින් අද වන විට තෙල් මිල අඩු කරන ලෙස ඉල්ලීම් කිරීමෙන් අද ව්‍යසනයක් බවට පත්ව ඇති ශ්‍රී ලංකා ආර්ථිකයට පිටුවහලක් නොවන බව ඒ මහතා පැවසීය.

ශ්‍රී ලංකා සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම නමින් මහා පාවාදීමේ ගිවිසුමක් අත්සන් කර ඇති බවත් අදාළ ගිවිසුම අනුව මිනිස්බල සපයන සමාගම් ශ්‍රී ලංකාව තුළ පිහිටුවීමට අවස්ථාව ලැබෙන බව බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

එට්කා ගිවිසුම හරහා ඉන්දියාවේ සිට මෙරටට පැමිණීමට නොහැකි වූ කම්කරුවන් හට මෙම ගිවිසුම තුළින් සිංගප්පූරුව හරහා මෙරටට පැමීණීමේ අවස්ථාව හිමිවන බවත් මන්ත්‍රීවරයා පැවසීය.

ජනාධිපතිවරයාත්, මලික් සමරවික්‍රම අමාත්‍යවරයාත් කැබිනට් මණ්ඩලයක් නොමඟ යවමින් මෙම ගිවිසුම අත්සන් කර ඇති බවත් මෙම ගිවිසුම සම්බන්ධයෙන් ප්‍රධාන වගකීම තිබෙන අමාත්‍යංශයේ ලේකම්වරියට නීතීඥ සංගමය සමඟ හෝ අදාළ ඕනෑම සංවිධනයක් සමඟ  ප්‍රසිද්ධ විවාදයක් සඳහා පැමිණෙන ලෙසද බන්දුල ගුණවර්ධන මහතා අභියෝග කළේය.