ලොරියක් හා ත්‍රීරෝද රථයක් ගැටී කුඩා දැරියක් ඇතුළු එකම පවුලේ 4ක් මරු‍ට

ලොරියක් හා ත්‍රීරෝද රථයක් ගැටී කුඩා දැරියක් ඇතුළු එකම පවුලේ 4ක් මරු‍ට

April 2, 2018   07:50 am

දඹුල්ල - කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ ගලේවෙල යටිගල්පොත්ත ප්‍රදේශයේදී අද(02) දින අලුයම 5.30 ත් 6 ත් පමණ  සිදුවූ රිය අනතුරකින් එකම පවුලේ හතර දෙනෙකු මියගොස් ඇතැයි ගලේවෙල පොලීසිය කියයි.

ත්‍රීරෝද රථයක් සහ ලොරියක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ. 

අනතුරෙන් මියගොස් ඇත්තේ ත්‍රීරෝද රථයේ ගමන් ගත් එකම පවුලේ මව පියා දියණිය සහ පුතෙකු බව මූලික පරීක්ෂණවලදී හෙළිවී ඇතැයි ගලේවෙල පොලීසිය කියයි.

කන්තලේ ප්‍රදේශයේ සිට අත්තනගල්ල ප්‍රදේශය බලා ධාවනය වෙමින් තිබූ ත්‍රීරෝද රථයක් සහ මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ සිට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ධාවනය වෙමින් තිබූ ලොරි රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇතැයි මූලික පරීක්ෂණවලදී හෙළි වී තිබේ.

මෙම අනතුරින් මියගිය සිව්දෙනා අත්තනගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෝ බව ත්‍රීරෝද රථයේ තිබූ ලියකියවිලි සහ හැඳුනුම්පත්වලින් හඳුනාගත් බව ගලේවෙල පොලීසිය කියයි.

මියගිය අයගේ මෘත දේහයන් ගලේවෙල සහ දඹුල්ල රෝහල්වල තැන්පත් කොට තිබේ.

ලොරි රථයේ රියදුරු සැකපිට ගලේවෙල පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇති අතර මෙම අනතුර  සිදුවන අවස්ථාවේදී  ත්‍රීරෝද රථය පදවා ඇත්තේ මෙම පවුලේ වයස අවුරුදු විස්සක් පමණ වූ පුතා බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

ත්‍රීරෝද රථයේ රියදුරට නින්දයාම අනතුරට හේතුවී ඇතැයි සිදුකළ පරීක්ෂණවලදී අනාවරණය වී ඇතැයි ගලේවෙල පොලීසිය වැඩිදුරටත් සඳහන් කර සිටියි.

සිද්ධිය දුටු අසල්වැසියන් කියා සිටියේ අළුයම 5.ට පමණ  විශාල ශබ්දයක් ඇසී එළියට පැමිණ බලන විට මෙම අනතුර සිදුවී ඇති අයුරු දැක ගත් බවයි. 

පසුව ඔවුන් අසල්වැසියන් විසින් මාර්ගයේ ගමන් කරමින් තිබූ වාහනවලින් දඹුල්ල සහ ගලේවෙල රෝහල්වලට රැගෙන යෑමට කටයුතු කළ බව ඔවුහු සඳහන් කර සිටීති.

මියගිය පවුලේ පිරිස කන්තලේ ප්‍රදේශයේ කිසියම් වෙළදාමක නිරත ව නැවත නිවෙස් බලා ගමන් කරමින් සිටියදී මෙම අනතුර සිදුවන්නට ඇති බව පොලිසිය විශ්වාස පළ කර සිටිති.

මියගිය එකම පවුලේ හතර දෙනාගේ  ත්‍රීරෝද රථය පැදවූ පුතු අවුරුදු 20ක් පමණ වයසක අයකු බවත් මියගිය දියණිය වයස අවුරුදු අටක් පමණ වන බවත් පොලිසිය සඳහන් කර සිටියේය.

අනතුර සම්බන්ධයෙන් ගලේවෙල පොලිසිය පරීක්ෂණ පවත්වයි.