ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාට කෙන්යාවේ දී ඉහළ පිළිගැනීමක්...

ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාට කෙන්යාවේ දී ඉහළ පිළිගැනීමක්...

March 27, 2024  

Bookmark and Share
කෙන්යාවේ ආරක්‍ෂක අංශ ප්‍රධානී (CDF) ජෙනරාල් Francis Omondi Ogolla විසින් සිදුකළ ආරාධනයකට අනුව මෙරට ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කෙන්යාවේ නිල සංචාරයක නිරත වී තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මඟපෙන්වීම අනුව ශ්‍රී ලංකාව සහ අප්‍රිකානු කලාපීය රටවල් අතර ආරක්‍ෂක සහයෝගීතාව ශක්තිමත් කිරීම මෙම සංචාරයේ ප්‍රධාන අරමුණ බව ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේ මාධ්‍ය අංශය පවසයි.

කෙන්යාව වෙත සපැමිණි ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා, එරට ආරක්‍ෂක අංශ ප්‍රධානී ජෙනරාල් Ogolla සහ ගුවන් හමුදාපතිවරයා විසින් ඉතා උණුසුම් ලෙස පිළිගනු ලැබූ අතර, එම අවස්ථාවේදී කෙන්යානු ගුවන් හමුදා සාමාජිකයන්ගෙන් සැදුම් ලත් විශේෂ සම්මාන මුරයක් විසින් පුර්ණ හමුදා ගෞරව පුද කර තිබේ.

මෙම පිළිගැනීම ඔස්සේ ශ්‍රී ලංකාව සහ කෙන්යාව අතර පවතින අන්‍යොන්‍ය මිත්‍රත්වය සහ ගෞරවය විඳහා දැක්වෙන අතර නිල සංචාරය මඟින් දෙරටේ සහයෝගිතාවය සඳහා ශක්තිමත් පදනමක් සැකසෙන බව පිළිබිඹු කරයි.

උත්සවය අතරතුර, කෙන්යාවේ ආරක්‍ෂක අංශ ප්‍රධානී විසින් එරට ආරක්‍ෂක අංශ උප ප්‍රධානී, ලුතිනන් ජෙනරාල් Charles Kahariri මෙන්ම යුද සහ ගුවන් හමුදාපතිවරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන්, ශ්‍රී ලංකා ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි වෙත හඳුන්වා දී තිබේ.