දිවාගුහාව සෙවීම අරඹයි

දිවාගුහාව සෙවීම අරඹයි

December 17, 2012   11:59 am

දිවාගුහාව පිහිටා තිබෙන ස්ථානය සෙවීම සඳහා පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අද (17) දිනයේ දී අදාළ ප්‍රදේශයේ ක්ෂේත්‍ර චාරිකාවක නිරතවීමට නියමිතය.

බුදුරජාණන් වහන්සේ සමනල කඳු මුදුනට වැඩම කරවීමෙන් අනතුරුව දිවා විහරණය සඳහා වැඩි ස්ථානය දිවා ගුහාව ලෙස හඳුන්වනු ලබයි.

දීර්ඝ කාලයක් මුළුල්ලේ මෙම ස්ථානය පිළිබඳව පුරාවිද්‍යා බලධාරීන් මෙන්ම වෙනත් නිලධාරීන් ද විවිධ පරීක්ෂණ සිදු කරන ලදී.

එහිදී දිවා ගුහාව පිහිටා ඇති ස්ථානය පිළිබඳව මත දෙකක් පළවූ අතර ඉන් එක් ස්ථානයක් වූයේ ශ්‍රී පාද මාර්ග‍යේ සිරිපා මළුවේ සිට මීටර් 300 ක් පහළින් පිහිටි ඇහැළ කණුව නැමැති ස්ථානයයි.

කුරුවිට, බටතොට බටතොට නැමැති ස්ථානයේ දිවා ගුහාව පිහිටා ඇති බවට ද ඇතැම් නිලධාරීන් විවිධ මත පළ කළහ.

කෙසේ වෙතත් පසුගිය සති කිහිපය තුළදී දිවා ගුහාව ‍සොයා ගෙන ඇති බවට වාර්තා පළවීමත් සමග මේ පිළිබඳව කතාබහක් ඇති වුණි.

එහෙත් මේ වන විට මෙම ස්ථාන දෙක පිළිබඳවම විවිධ මත පළවී තිබේ.

පවතින මෙම තත්ත්වය තුළ දිවා ගුහාව පිහිටි ස්ථානය සෙවීම සඳහා පුරාවිද්‍යා නිලධාරීන් අද දිනයේ අදාළ ප්‍රදේශවල පරීක්ෂණ කටයුතු සිදුකිරීමට නියමිතය.