විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ තීරණයට හෙට්ටිපොල නීතිඥ සංගමයේ දැඩි විරෝධය
July 27, 2026 10:45 pm
ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවරුන් ඇතුළු සමස්ත විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස් සීමාව දීර්ඝ කිරීම සඳහා යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට හෙට්ටිපොල නීතිඥ සංගමය දැඩි විරෝධය පළ කර ඇත.
හෙට්ටිපොල නීතිඥ සංගමයේ අද (27) පැවති විශේෂ මහ සභා රැස්වීමේදී රටේ වත්මන් නීතිමය සහ වෘත්තීය ක්ෂේත්‍රයට සම්බන්ධ වැදගත් තීරණ කිහිපයක් සම්මත කර තිබේ.
ඒ අනුව නිවේදනයක් නිකුත් කරමින් එම නීතිඥ සංගම පවසා ඇත්තේ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති නීතිඥ රජීව් අමරසූරිය මහතාට එරෙහිව, පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂන් එගොඩවිතානගේ මහතා විසින් පසුගිය 24 වනදා පාර්ලිමේන්තු වරප්‍රසාද අනියම් ලෙස භාවිතා කරමින් කරන ලද පදනම් විරහිත ප්‍රකාශය දැඩි ලෙස හෙළා දකින බවය.
මෙම තීරණ පිළිබඳව ශ්‍රී ලංකා නීතිඥ සංගමයට නිල වශයෙන් දැනුම් දීමටත්, එළැඹෙන 29 වන දින කැඳවා ඇති ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ විශේෂ මහ සභාව සඳහා හෙට්ටිපොල නීතිඥ සංගමය නියෝජනය කරමින් නියෝජිතයන් ඇතුළු නීතිඥවරුන් පිරිසක් සහභාගී වීමටත් මෙහිදී වැඩිදුරටත් තීරණය කර ඇත.
