34 වන FACETS Sri Lanka ප්‍රදර්ශනය 2027 වසරේ ජනවාරි 4 වැනිදා සිට

34 වන FACETS Sri Lanka ප්‍රදර්ශනය 2027 වසරේ ජනවාරි 4 වැනිදා සිට

July 17, 2026   04:33 pm

ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය විසින් සංවිධානය කරනු ලබන 34 වන FACETS Sri Lanka ප්‍රදර්ශනය එළැඹෙන 2027 ජනවාරි 4 වනදා සිට 6 වනදා දක්වා කොළඹදී පැවැත්වීමට නියමිතව තිබේ.

මෙරට විශිෂ්ටතම මැණික් හා ස්වර්ණාභරණ සමාගම් නියෝජනය කරමින් මැණික් හා ස්වර්ණාභරණ අලෙවිකරුවන් හා නිෂ්පාදකයින් සියයකට අධික සංඛ්‍යාවක් මෙම සුවිශේෂී ප්‍රදර්ශනයට එක්වීමට නියමිතය.

ශ්‍රී ලාංකීය මැණික්වල ඇති උසස් තත්ත්වය සහ දේශීය ස්වර්ණාභරණ ශිල්පීන්ගේ අද්විතීය දක්ෂතාවය අත්විඳීම සඳහා ඇමරිකාව, යුරෝපය, මැදපෙරදිග, ඉන්දියාව, චීනය සහ තායිලන්තය ඇතුළු ලොව ප්‍රධාන පෙළේ වෙළඳපළ රැසක ගැනුම්කරුවන් මෙවර මේ සඳහා කොළඹට පැමිණෙනු ඇත.

මේ සම්බන්ධව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් ඊයේ (16) දිනයේදී කොළඹදී පැවැත්වුණු අතර ඒ සඳහා ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති මහාචාර්ය එස්. පී. චමින්ද, අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ ඇතුළු පිරිසක් එක්වූහ.

මෙම 34 වන FACETS Sri Lanka ප්‍රදර්ශනය, ශ්‍රී ලංකාවටම ආවේණික වූ ලෝ ප්‍රකට නිල් මැණික් (sapphires) සහ ඉතා අනර්ඝ ස්වර්ණාභරණ ප්‍රදර්ශනය කිරීම සඳහාම වෙන්වූ විශේෂිත කුටිවලින් සමන්විත වන අතර මීට අමතරව, Sapphire Night, Story Corner, Power Breakfast, මෙන්ම මැණික් පතල් සහ වරාය නගරය නැරඹීමේ සංචාර ඇතුළු සුවිශේෂී වැඩසටහන් මාලාවක්ද මීට සමගාමීව පැවැත්වීමට නියමිතය.

එමෙන්ම ඉදිරි වසර තුන සඳහා FACETS Sri Lanka ප්‍රදර්ශන පැවැත්වෙන දින වකවානුද මෙහිදී ප්‍රකාශයට පත් කළ අතර ඒ අනුව FACETS Sri Lanka 2028 ප්‍රදර්ශනය ජනවාරි 5 සිට 7 දක්වාත්, FACETS Sri Lanka 2029 ජනවාරි 4 සිට 6 දක්වාත්, FACETS Sri Lanka 2030 ජනවාරි 6 සිට 8 දක්වාත් පැවැත්වීමට නියමිතය.