සාර්ථකව පුහුණුව නිමකළ මධ්‍ය නිලධාරීන් 34ක් අධිකාරියට පත් කෙරේ
July 12, 2026 12:53 pm
සාර්ථකව පුහුණුව නිමකළ මධ්‍ය නිලධාරීන් 34ක් අධිකාරියට පත් කිරීම ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේදී සිදු විය.
ජෙනරාල් ශ්‍රිමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ 39 වැනි බඳවාගැනීමට අයත් තාක්ෂණික අංශයේ මධ්‍ය නිලධාරීන් නවදෙනෙකු සහ ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ පුහුණුව සම්පූර්ණ කළ 66 වැනි ශිෂ්‍යභට බඳවාගැනීමට අයත් මධ්‍ය නිලධාරීන් විසිපස් දෙනෙකු අධිකාරියට පත් කිරීමේ උත්සවය, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දුගේ ප්‍රධානත්වයෙන් ඊයේ (11) ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේදී අභිමානවත් අයුරින් පැවැත්විණි.
මෙම විසිරයාමේ පෙළපාලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු, නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් කෝසල වර්ණකුලසූරිය විසින් සරඹ පිටිය අභියසදී උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.
අනතුරුව නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති කොමදෝරු දිනේෂ් බංඩාර විසින් ප්‍රධාන පීඨිකාව වෙත කැටුව යන ලද නාවික හමුදාධිපති වෙත උත්තමාචාර පිරිනැමීමෙන් පසුව, විසිරයාමේ පෙළපාලිය පරීක්ෂා කිරීම සිදු කෙරිණි.
ඉන් අනතුරුව, පුහුණු කාලසීමාව තුළ විශිෂ්ට දක්ෂතා දැක්වූ මධ්‍ය නිලධාරීන් වෙත සම්මාන පිරිනැමීමත්, විසිර යන නිලධාරීන් වෙත අසිපත් ප්‍රදානය කිරීමත් නාවික හමුදාධිපති විසින් සිදුකෙරිණි.
ජෙනරාල් ශ්‍රිමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ තාක්ෂණික අංශයේ 39 වැනි බඳවා ගැනීමට අයත් දක්ෂතම තාක්ෂණික මධ්‍ය නිලධාරියාට හිමි සම්මානය ආර්.ඒ.ආර්.සී රණසිංහ විසින්ද, නාවික හා සාගරික විද්‍යාපීඨයේ පුහුණුව සම්පූර්ණ කළ 66 වැනි බඳවා ගැනීමට අයත් දක්ෂතම මධ්‍ය නිලධාරියාට හිමි සම්මානනීය අසිපත මධ්‍ය නිලධාරි ඒච්එම්කේඑම් බණ්ඩාර හිමිකර ගෙන තිබේ.
මේ අතර, වෘත්තීය විෂයන්ගෙන් වැඩිම ලකුණු ලබාගත් මධ්‍ය නිලධාරියාට හිමි සම්මානය මධ්‍ය නිලධාරී ඩී. එන්.ටී.ජී නානායක්කාර විසින්ද, දක්‍ෂතම ඉලක්කකරුට හිමි සම්මානය මධ්‍ය නිලධාරි ඩබ්.කේ.ඩී විජේසිංහ විසින් සහ දක්‍ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය මධ්‍ය නිලධාරිණි ඒවීඕ අතුකොරාල විසින්ද, එහිදී නාවික හමුදාධිපති වෙතින් හිමිකර ගන්නා ලදි.
