අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයට ජාත්‍යන්තර ඇගයීමක්

අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයට ජාත්‍යන්තර ඇගයීමක්

June 11, 2026   03:58 pm

ඩෙංගු රෝගය සම්බන්ධයෙන් ඒකාබද්ධ ජාත්‍යන්තර පර්යේෂණ හා පුහුණු මධ්‍යස්ථානයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නම් කර තිබේ.

මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් අංගොඩ ජාතික බෝ වන රෝග විද්‍යායතනයට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සුවිශේෂී පිළිගැනීමක් ලබාදී ඇත.

ඒ අනුව ජාතික බෝවන රෝග විද්‍යායතනය ඩෙංගු රෝග කළමනාකරණය පිළිබඳව පුහුණු හා පර්යේෂණ සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහයෝගිතා මධ්‍යස්ථානයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නම්කර තිබේ.

ශ්‍රී ලංකාවේ මෙම ගෞරවය හිමි වූ ප්‍රථම රෝහල ද අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයයි. 

මෙය රෝහලේ පරිපාලන සහ සායනික කණ්ඩායම්වල වසර ගණනාවක් තුළ සිදුකල අඛණ්ඩ උත්සාහයක සහ කැප කිරීම්වල ප්‍රතිඵලයක් ලෙස හිමි වූ වටිනා අවස්ථාවකි.

මෙතෙක් කල් මෙරට සෞඛ්‍ය කාර්ය මණ්ඩල අනිකුත් රටවලට ගොස් අධ්‍යාපනය ලබාගත් අතර මෙම මධ්‍යස්ථානය ශ්‍රී ලංකාවේ පිහිටුවීමෙන් පසු අනිකුත් රටවල සෞඛ්‍ය කාර්යය මණ්ඩලවලට ඩෙංගු රෝග කළමනාකරණය හා සම්බන්ධව පුහුණුව ලබා ගැනීමටත් හා පර්යේෂණ සිදු කිරීමටත් අප රට තුළ දී අවස්ථාව ලැබේ. 

මේ සඳහා පෙර සූදානමක් ලෙස, ජාතික බෝවන රෝග විද්‍යායතනය පිහිටුවාගත් පර්යේෂණ සහ පුහුණු මධ්‍යස්ථානය Center for Training & Research (CeRT) මඟින් බංගලාදේශය, නේපාලය, භූතානය ආදී රටවල් සඳහා ඩෙංගු රෝග කළමනාකරණය පිළිබඳව න්‍යායික සහ සායනික දැනුම ලබාදීම මේ වන විට සිදුකර ඇත.

ඩෙංගු රෝග කළමනාකරණය පිළිබඳව පුහුණු හා පර්යේෂණ මධ්‍යස්ථානයක් ලෙස අංගොඩ ජාතික බෝ වන රෝග විද්‍යායතනයට මෙම පිළිගැනීම  ලබා දී ඇත්තේ වසර 4ක කාලයක් සඳහා වන අතර, ඉදිරි සිව් වසර තුල රෝහල විසින් සපුරා ගත යුතු ඉලක්ක කිහිපයක් ද ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දී ඇත.

ඒ අනුව වාර්ෂිකව එහි ප්‍රගතිය පිළිබඳව ජාතික බෝවන රෝග විද්‍යායතනය විසින් ලෝක සෞඛ්‍ය සංවිධානයට වාර්තා සැපයිය යුතු වන අතර, එම ඉලක්ක නිසි ආකාරව සපුරාලීමෙන් පමණක් ඊළඟ වසර 4 සඳහා ද ජාතික බෝවන රෝග විද්‍යායතනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහයෝගිතා මධ්‍යස්ථානයක් ලෙස නම් වනු ඇත. 

ඒවා සපුරා ගැනීමට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අඛණ්ඩ සහයෝගය ද අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයට හිමිවේ. 

එහි ආරම්භය සඳහා ඉදිරි මාස දෙක ඇතුළත මාලදිවයින සහ නේපාලයේ සෞඛ්‍ය නිලධාරීන් පුහුණු වැඩමුළු සඳහා සම්බන්ධ කර ගැනීමට ද ජාතික බෝවන රෝග විද්‍යායතනය අපේක්ෂා කරයි.

ඉබෝලා ඇතුළු දරුණු බෝවන රෝග පරීක්ෂා කිරිම සඳහා නවීන රසායනාගාර ගොඩනැගිල්ලක් ද රෝහල තුළ ඉදිකරමින් පවතින අතර, මේ වසර තුළ ප්‍රතිකාර සේවාවන් සඳහා එක් කිරිමට ද කටයුතු කරන බව අංගොඩ ජාතික බෝ වන රෝග විද්‍යායතනයේ අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය ඒ.පී. සන්දනායක මහතා පැවැසීය.

ජාතික බෝවන රෝග විද්‍යායතනය ඩෙංගු රෝග කළමනාකරණය පිළිබඳව පුහුණු හා පර්යේෂණ සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහයෝගිතා මධ්‍යස්ථානයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නම් කිරීම සම්බන්ධයෙන් මහජනතාව දැනුවත් කිරීම සඳහා විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් අද (11) අංගොඩ ජාතික බෝ වන රෝග විද්‍යායතනයේ දී පැවැත්විණි.