රාජ්‍ය සේවකයින්ගේ දරුවන් වෙනුවෙන් නව ළමා දිවා සුරැකුම් මධ්‍යස්ථානයක් විවෘත කෙරේ
May 8, 2026 10:49 am
සමස්ත චීන කාන්තා සම්මේලනයේ ප්‍රදානයක් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසඳයට ලැබුණු භාණ්ඩ හා උපකරණ උපයෝගී කරගනිමින් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ “ගොවිජන මන්දිර” පරිශ්‍රයේ ඉදිකළ නව ළමා දිවා සුරැකුම් මධ්‍යස්ථානයක් විවෘත කර තිබේ.
කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ, පසුගිය 06 වැනිදා මෙම මධ්‍යස්ථානය විවෘත කළ බවයි.
රජයේ “පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්” ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඇතුළත් “සුරක්ෂිත ලොවක් - නිර්මාණශීලී අනාගත පරපුරක්” යන දැක්මට අනුව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර ඇත.
“Little Roots” නමින් පෙර පාසලක්ද සහිතව ආරම්භ කර ඇති මෙම දිවා සුරැකුම් මධ්‍යස්ථානය, පාර්ලිමේන්තුව, කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය සහ කෘෂිකර්ම අමාත්‍යාංශය එක්ව ක්‍රියාත්මක කළ සමූහ ව්‍යාපෘතියකි.
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ සහ බත්තරමුල්ල ප්‍රදේශවල රාජකාරියේ නියුතු රාජ්‍ය සේවකයින්ගේ පහසුව සඳහා ඉදිකළ මෙම මධ්‍යස්ථානය මුල් අදියරේදී පාර්ලිමේන්තු සහ කෘෂිකර්ම අමාත්‍යාංශ කාර්යමණ්ඩලයේ දරුවන් සඳහා විවෘත කර ඇති අතර, ඉදිරියේදී එය තවදුරටත් පුළුල් කිරීමට නියමිතය.
කාර්යබහුල රාජ්‍ය සේවකයින්ට සහය වීම මෙන්ම දරුවන්ගේ මුල් ළමාවිය සංවර්ධනය සහ සුභසාධනය තහවුරු කිරීම මෙම මධ්‍යස්ථානයේ ප්‍රධාන අරමුණ බව සඳහන් වේ.
කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය සහ කෘෂිකර්ම, පශු සම්පත් සහ ඉඩම් අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා ඇතුළු අමාත්‍යවරුන්, මන්ත්‍රීවරුන්, රාජ්‍ය නිලධාරීන් සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාල නියෝජිතයින් රැසක් එක්ව සිටියහ.
