ගාල්ල සාන්ත ඇලෝෂියස් විද්‍යාලයේ නව රග්බි නිල ජර්සිය එළිදක්වයි

ගාල්ල සාන්ත ඇලෝෂියස් විද්‍යාලයේ නව රග්බි නිල ජර්සිය එළිදක්වයි

May 7, 2026   01:40 pm

2026 පාසල් රග්බි වාරයට ක්‍රීඩා කරන ගාල්ල සාන්ත ඇලෝෂියස් විද්‍යාලයීය කණ්ඩායමේ නිල ජර්සිය එළිදැක්වීම ඊයේ (06) පාසල් ශ්‍රවණාගරයේ පැවති විශේෂ උත්සවයකදී සිදු කෙරුණි.

ඇලවීෂියානු රග්බි කණ්ඩායම A කාණ්ඩයේ B කොටසින් මෙවර තරගාවලියට ක්‍රීඩා කිරීමට නියමිතය.

ඒ අනුව ඔවුන් මෙවර සිය පළමු තරගය හෙට (08) මහනුවර විද්‍යාර්ත විද්‍යාලයට එරෙහිව ක්‍රීඩා කරනු ඇත. 

මෙම කණ්ඩායමේ නායකත්වය සශික මදුලංක හට හිමිව ඇති අතර එහි උපනායකයා හසිඳු විදුරංග ලෙස කටයුතු කරනු ලබයි. 

කණ්ඩායම වෙනුවෙන් හඳුන්වා දෙනු ලැබූ නව ජර්සිය සාන්ත ඇලෝෂියස් විද්‍යාලයේ අභිමානවත් රග්බි සම්ප්‍රදාය පිළිබිඹු කරන අතර ඉතා තරගකාරී පාසල් ලීගයේ කැපවීමෙන් හා විනයකින් යුතු ක්‍රීඩා කිරීමට ක්‍රීඩකයින් පෙළඹවනු ඇතැයි අපේක්ෂා කෙරේ. 

දශක හතරකට පෙර රග්බි ක්‍රීඩා කිරීම ආරම්භ කළ ඇලෝෂියස් විද්‍යාලය, දකුණු පළාත තුළ පාසල් රග්බි ක්‍රීඩාවේ වඩාත් ගෞරවයට ලක් වූ මෙන්ම සීඝ්‍ර වර්ධනයක් අත්පත් කරගනිමින් සිටින කණ්ඩායමක් වේ. 

මෙම විද්‍යාලයීය කණ්ඩායමේ ක්‍රීඩකයින් විශාල ප්‍රමාණයක් ජාතික කණ්ඩායම නියෝජනය කිරීමේ වරම් හිමිකරගෙන තිබීමත් විශේෂත්වයකි. 

එම විද්‍යාලයේ හොඳම රග්බි වාරය 1998 වසර ලෙස සැලකෙන අතර එම කාලයේදී කණ්ඩායම මෙහෙයවන ලද්දේ, දුෂ්මන්ත සීක්කුවවසම් විසිනි.

එම කාලයේදී ඔවුන් ඒ කාණ්ඩය දක්වා උසස්වීමක් ද ලැබීය. 

දිනූෂ ද සොයිසා සහ ටී.බී අමේන්ද්‍ර 1999 වසරේදී ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලේ සහ හර්ෂ ද සොයිසා 2026 ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කර තිබීමත් විශේෂත්වයකි. 

1992 වසරේදී ආරම්භ වූ ටී.වී සුමනසේකර අභියෝගතා කුසලානයේ 30 වැනි තරගය ලබන ජූලි මාසයේදී පැවැත්වීමට සැලැසුම් කර ඇත.