පෙර පාසල් හා දිවා සුරැකුම් මධ්‍යස්ථාන ලියාපදිංචියට නව ක්‍රමවේදයක්
April 30, 2026 09:54 pm
පෙර පාසල් සහ ළමා දිවා සුරැකුම් මධ්‍යස්ථාන ලියාපදිංචි කිරීම සහ නියාමනය ශක්තිමත් කිරීම සඳහා නව මාර්ගගත ලියාපදිංචි දොරටුවක් (Online Registration Portal) හඳුන්වා දීමට පියවර ගෙන ඇති බව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය ප්‍රකාශ කළාය.
ඇය සඳහන් කළේ, පෙර පාසල් හිමිකරුවන්, පාලිකාවන්, ගුරුවරුන් සහ දෙමව්පියන් සඳහා පවතින සහ යෝජිත ප්රමිතීන් පිළිබඳ දැනුවත් කිරීමත් සමඟ පහසු සහ කාර්යක්ෂම ලියාපදිංචි ක්‍රමවේදයක් හඳුන්වා දීම අත්‍යවශ්‍ය බවයි.
පෙර පාසල් සහ මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන ලියාපදිංචිය සහ නියාමනය පළාත් සභා යටතේ සිදු වන අතර, ළමා දිවා සුරැකුම් මධ්‍යස්ථාන පළාත් පරිවාස දෙපාර්තමේන්තු යටතේ ලියාපදිංචි කර ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් නියාමනය කරනු ලබයි.
කෙසේ වෙතත්, ලියාපදිංචියකින් තොරව මෙම මධ්‍යස්ථාන කිහිපයක් ක්‍රියාත්මක වීම හේතුවෙන් නියාමන ක්‍රියාවලිය සංකීර්ණ වී ඇති බවද අවධාරණය කෙරේ.
මෑතකාලීනව දරුවන් අනාරක්ෂිත තත්ත්වයට පත්වූ සිදුවීම් සැලකිල්ලට ගනිමින්, පවතින නීති සහ ප්‍රතිපත්ති තවදුරටත් ශක්තිමත් කිරීම සහ දැඩිව ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව පවතින බව අමාත්‍යවරිය පෙන්වා දුන්නාය.
මෙම කරුණු අවධාරණය වූයේ මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය සමඟ පැවති සාකච්ඡාවකදීය.
