ලංකා සීනි සමාගමේ සභාපතිනිය ඉල්ලා අස්වෙයි
February 18, 2026 09:31 pm
ලංකා සීනි සමාගමේ සභාපතිනිය ලෙසින් කටයුතු කළ සඳමාලි චන්ද්‍රසේකර මහත්මිය වහාම ක්‍රියාත්මක වන පරිදි එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා වෙත ඇය ඊයේ (17) සිය ඉල්ලා අස්වීමේ ලිපිය යොමුකර ඇත.
තමා සිය ධුරයේ රාජකාරී කටයුතු ආරම්භ කළ දින සිට අවංකව සමාගමේ අභිවෘද්ධිය වෙනුවෙන් උපරිම දායකත්වයෙන් කටයුතු කළ බව ඇය එම ලිපියෙන් පවසයි.
ලංකා සීනි සමාගමට අනන්‍ය වූ නිති රාමුවක් තිබෙන බවත්, එම නීති පද්ධතියට යටත්ව තමා කටයුතු කළ බවත් එහි දැක්වේ.
කෙසේ නමුත් ඇතැම් දේශපාලඥයන් සිය දේශපාලන බලය උපයෝගී කරගනිමින් ආයතනයේ නීති පද්ධතිය උල්ලංඝනය කිරීමට තමාට බලපැම් කළ බව ඇය ලිපියේ දක්වා ඇත.
එසේ වුවත් තමාගේ සේවා කාලය තුළ, අදාළ චක්‍රලේඛ, රෙගුලාසි සහ ස්ථාපිත නීතිමය ක්‍රියා පටිපාටි උල්ලංඝනය කිරීමට නොහැකි බව ඇය දක්වා තිබේ.
මෙවැනි තත්ත්වයන් යටතේ තවදුරටත් තමන්ට රාජකාරි ඉටු කිරීමට නොහැකි හෙයින් තම වෘත්තීය ආචාර ධර්මවලට අනුකූලව ලංකා සීනි සමාගමේ සභාපති ධුරයෙන් ඉවත් වන බව ලිපියේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.
