ළමා සෞඛ්‍ය ප්‍රවර්ධනය සඳහා වන සන්නිවේදන ජාතික වැඩසටහන එලිදැක්වෙයි

ළමා සෞඛ්‍ය ප්‍රවර්ධනය සඳහා වන සන්නිවේදන ජාතික වැඩසටහන එලිදැක්වෙයි

January 10, 2026   06:05 pm

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය, කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය, අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය UNICEF ආයතනය සහ Clean Sri Lanka වැඩසටහන එක්ව මුල් ළමාවිය දරුවන්ගේ සමාජ සහ චර්යාත්මක වෙනසක් උදෙසා ළමා සෞඛ්‍ය ප්‍රවර්ධනය සඳහා වන සන්නිවේදන ජාතික වැඩසටහන එලිදැක්වීම අද (10)  අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.

ඒ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ්  මහත්මියගේ ප්‍රධානත්වයෙනි.

ශ්‍රී ලංකාව තුළ වයස දින 0 - අවුරුදු 5 ත් අතර දරුවන් මුල් ළමාවියේ දරුවන් ලෙස සළකණු ලබන අතර එම කාල රාමුව තුළ දරුවන් සඳහා පවිත්‍රතාවය, පෝෂණය, ආරක්ෂාව, චිත්තවේග කලමණාකරනය වැනි අත්‍යවශ්‍ය පුරුදු නිර්මාණාත්මක සහ ක්‍රියාකාරකම් පාදක ඉගැන්වීම් ක්‍රමවේදයන් හරහා හඳුන්වා දීම සහ හුරු කිරීමත්, දරුවන් සමඟ ගනුදෙනු කිරීමේදී වැඩිහිටියන් තුළ ගොඩනගා ගත යුතු සහකම්පනය ඇතුළු අනෙකුත් සන්නිවේදන කුසළතාවන් හඳුන්වා දීමත් මෙම වැඩසටහන හරහා සිදුවේ.

මෙම වැඩසටහනට සමගාමීව පෙරපාසල් ගුරුවරුන් සඳහා පුහුණුකරුවන් පුහුණු කිරීමේ වැඩසටහන් සංවිධාන කෙරෙන අතර SBCC මෙවලම් කට්ටලයක් ද හදුන්වා දී තිබේ. එම මෙවලම් කට්ටල සෞඛ්‍ය දිස්ත්‍රික්ක 26 තුළ මේ වන විට පුහුණුව අවසන් කළ පෙරපාසල් ගුරුවරුන් සඳහා සංකේතාත්මකව පිරිනැමීම ද අද දින සිදු විය.

ගරු අග්‍රාමාත්‍ය ආචාර්‍ය හරිනි අමරසූරිය මැතිණියගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම අවස්ථාවට සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා, සබරගමු පළාත් ආණ්ඩුකාරවර චම්පා ජානකී රාජරත්න මහත්මිය, ඌව පළාත් ගරු ආණ්ඩුකාරවර නීතීඥ කපිල ජයසේකර මහතා, උතුරු මැද පළාත් ගරු ආණ්ඩුකාරවර වසන්ත ජිනදාස මහතා, වයඹ පළාත් ගරු ආණ්ඩුකාරවර තිස්ස කුමාරසිරි වර්ණසූරිය මහතා, කාන්තා සහ ළමා කටයුතු ගරු නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය නාමල් සුදර්ශන මහතා, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නජිත් ඉන්දික මහතා, එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ (Unicef) ශ්‍රී ලංකාවේ නියෝජිත Emma Brigham මහත්මිය, ජනාධිපති ලේකම් ආචාර්‍ය නන්දික සනත් කුමාණායක මහතා, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් (මූල්‍ය සහ ආර්ථික කටයුතු) රසල් අපොන්සු මහතා, ජනාධිපති අතිරේක ලේකම් (ක්ලීන් ශ්‍රී ලංකා) එස්. පී. සී. සුගීෂ්වර මහතා, අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, ත්‍රිවිධ හමුදාපතිවරුන්, විෂයානුබද්ධ අමාත්‍යාංශ නිලධාරීන්, පළාත් සභා නිලධාරීන්, පෙරපාසල් ගුරුවරුන්, පෙරපාසල් දරු දැරියන් සහ දෙමව්පියන් එක්ව සිටියහ.