මධ්‍යම සංස්කෘතික අරමුදල ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ කමිටු නිර්දේශ අගමැති ට භාරදෙයි

මධ්‍යම සංස්කෘතික අරමුදල ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ කමිටු නිර්දේශ අගමැති ට භාරදෙයි

October 7, 2021   04:55 pm

මධ්‍යම සංස්කෘතික අරමුදල ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට පත්කළ පංච පුද්ගල කමිටුව අදාළ වාර්තාව අද (07) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට අරලියගහ මන්දිරයේ දී භාරදුනි.

බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි මෙම පංච පුද්ගල කමිටුව පත්කර තිබිණි.

ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතාගේ සභාපතිත්වයෙන් යුතු මෙම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ නිලූෂා බාලසූරිය, අග්‍රාමාත්‍ය කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ප්‍රියංග නානායක්කාර, තොරතුරු තාක්ෂණ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ එඩ්වඩ් පීරිස් සහ එම දෙපාර්තමේන්තුවේම සහකාර අධ්‍යක්ෂ මධුෂානි වර්ණසූරිය මහත්ම මහත්මීහු කටයුතු කළහ.

“මධ්‍යම සංස්කෘතික අරමුදල පිළිබඳව පූර්ණ අධ්‍යයනයක් කර එය සම්පූර්ණයෙන් ප්‍රතිව්‍යුහගත කෙරේ...” යනුවෙන් සඳහන් සෞභාග්‍යයේ දැක්ම ජාතික ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව යමින් අග්‍රාමාත්‍යවරයා ඊට අදාළ නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා මෙම කමිටුව පත්කර තිබිණි.

මෙම වාර්තාවේ ඇතුළත් නිර්දේශ ක්‍රියාත්මක කිරීම මගින් ඉදිරියේ දී මධ්‍යම සංස්කෘතික අරමුදල එහි අරමුණු සාක්ෂාත් කරගත හැකි වඩාත් ඵලදායී ආයතනයක් බවට පත්කළ හැකිවනු ඇතැයි අග්‍රාමාත්‍යවරයා එහි දී විශ්වාසය පළකළේය.

ඒ අනුව වාර්තාවේ සඳහන් නිර්දේශ කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙස අදාළ නිලධාරීන්ට අග්‍රාමාත්‍යවරයා එහිදී උපදෙස් දුන්නේය.