කොළඹ ජාතික සහ මීගමුව රෝහල්වලට රුධිර හිඟයක් නෑ

කොළඹ ජාතික සහ මීගමුව රෝහල්වලට රුධිර හිඟයක් නෑ

April 21, 2019   12:51 pm

දිවයිනේ ස්ථාන 06 ක සිදු වූ බෝම්බ පිපිරීම් වලින් තුවාල ලබා රෝහල් ගත කරන රෝගීන්ට අවශ්‍ය ප්‍රතිකාර කඩිනමින් සිදු කිරීම සඳහා සියලු පියවර ගන්නා ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාට උපදෙස් ලබාදී ඇත.

ඒ අනුව කොළඹ ජාතික රෝහල, මීගමුව දිස්ත්‍රීක් මහ රෝහල, මඩකළපුව මහ රෝහල ඇතුළු තදාසන්න රෝහල්වල සියලුම විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන්, හෙද කාර්ය මණ්ඩලය ඇතුළු සියලුම සෞඛ්‍ය සේවකයින් කැදවා ඇති අතර, අවශ්‍ය සියලුම ප්‍රතිකාර කඩිනමින් සිදු කිරිමට පියවර ගෙන ඇත.

තවද තුවාල ලැබූ රෝගීන් සදහා අවශ්‍ය රුධිර සාම්පල රෝහල්වලට අවශ්‍ය තරම් ලබාදී ඇති බව ජාතික රුධිර පාරවිලයන සේවයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය විජිත් ගුණසේකර මහතා පවසයි.

මීගමුව දිස්ත්‍රීක් මහ රෝහලට ජාතික රුධිර පාරවිලයන සේවයෙන් සහ හලාවත මහ රෝහලෙන් අවශ්‍ය තරම් රුධිර සාම්පල ලබාදී ඇත. 

කොළඹ ජාතික රෝහලට අවශ්‍ය තරම් රුධිර සාම්පල ලබාදී ඇත.

මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ රුධිර සාම්පලවල හිගයක් පවතින බවට සමාජ ජාලා වෙබ් අඩවවල පළවන ප්‍රවෘත්තිය අසත්‍ය බව අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පවසයි. 

මේ අතර, රෝගීන්ට අවශ්‍ය ඖෂධ, සේලයින්, ඇතුලු අනෙකුත් පහසුකම් ද අවශ්‍ය තරම් ලබාදීමට පියවර ගෙන ඇත.