අවදානමේ තියෙන කරදියාන කුණු කන්ද

අවදානමේ තියෙන කරදියාන කුණු කන්ද

April 16, 2019   07:35 pm

මීතොටමුල්ල කුණු කන්ද නායයෑමට සමාන ඛේදවාචකයට අනතුරු ඇඟවීමක් කරදියාන කසල අංගනයෙන් වාර්තා වෙයි.

කරදියාන කසල අංගනය පාමුල ජීවත්වන ප්‍රදේශවාසින් පවසන්නේ නායයෑමේ අවධානමක් හේතුවෙන් තමාට සිය නිවෙස්වලින් ඉවත්වන ලෙසට බලධාරීන් දැනුවත් කළද ඒ සඳහා නිසි ක්‍රමවේදයක් රජය විසින් ක්‍රියාත්මක කර නොමැති බවයි.

කරදියාන කසල අංගනය අක්කර 25කින් සමන්විත වන අතර ඉන් කසල බැහැර කිරීම සඳහා වෙන් කර ඇත්තේ අක්කර 12ක පමණ භූමි ප්‍රදේශයක්.

බස්නාහිර පළාත් සභාවේ අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය විසින් මෙය පාලනය කරන අතර කැස්බෑව,දෙහිවල ,බොරලැස්ගමුව, මහරගම, කොට්ටාව හෝමාගම සහ මොරටුව යනාදී පළාත් පාලන ආයතනයන් සතු කසල මෙම අංගනයට බැහැර කෙරෙයි.

ඒ අනුව මෙම ස්ථානයට දෛනික බැහැර කෙරෙන කසල ප්‍රමාණය මෙට්‍රික් ටොන් 3ක්.
 
මේ වන විට කසල මෙට්‍රික් ටොන් 500ක් පමණ මෙහි ගොඩ ගැසී තිබෙන අතර මේ හේතුවෙන් ඒ අවට ජීවත්වන  ජනතාව පත්ව ඇත්තේ දැඩි දුෂ්කරතාවකටයි.

දිනෙන් දින ගොඩ ගැසෙන කසල හේතුවෙන් මේ වන විට කසල කන්ද නායයෑමේ අවධානමකට ලක්ව ඇති අතර කසල කන්ද පාමුල ජීවත්වන තුම්බෝවිල ප්‍රදේශවාසීන්ටද එම අවධානමට මුහුණ දීමට සිදුව තිබේ.

ඔවුන් පවසන්නේ නායයෑමේ අවධානමකට ලක්ව ඇති බව පවසමින් බලධාරීන් පැමිණ තමන්ට සිය නිවෙස්වලින් ඉවත්වන ලෙස දැන්වූ බවයි.

ප්‍රදේශවාසින් නගන මෙම චෝදනාව සම්බන්ධයෙන් අප  බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරි‍යේ අධ්‍යක්ෂ නලින් මාන්නප්පෙරුම මහතාගෙන් කළ විමසීමකදී ඔහු පැවසුවේ මෙම ප්‍රදේශයේ අවධානමක් ඇති බැවින් කසළ බැහැර කිරීම නවතා ඇති බවයි.

එළැඹෙන 23වනදා අදාළ පාර්ශවයන් සමග මෙම ගැටලුව පිළිබඳව සාකච්ඡා කර අවසන් තීරණයක් ගන්නා බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

මීතොටමුල්ල කුණු කන්දේ ඛේදවාචකයකට වසර 2ක් ගතවන මොහොතේ තවත් ඛේදවාචකයකට ඉඩ නොතැබීම සියලුම බලධාරීන්ගේ වගකීමක්.