රේගු සේවකයින් ආරම්භ කළ වැඩ වර්ජනය සිව් වන දිනටත්
February 2, 2019 01:09 pm
රේගු සේවකයින් ආරම්භ කළ අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අද(02) සිව් වන දිනටත් පැවැත්වෙයි.
වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරත වෘත්තීය සමිති පෙන්වා දෙන්නේ, ඉන් දෛනිකව රුපියල් බිලියන 2ක පමණ පාඩුවක් රජයට සිදුවන බවයි.
රේගු අධ්‍යක්ෂ ජනරාල්වරිය වන පී.එස්.එම්. චාර්ල්ස් මහත්මිය හදිසියේ ස්ථාන මාරුකර ඒ වෙනුවට විශ්‍රාමික නාවික හමුදා නිලධාරියෙකු පත්කිරීමට විරෝධය පලකරමින් රේගු වෘත්තීය සමිති සන්ධානය පසුගිය බදාදා ආරම්භ කළ අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අද සිව්වැනි දිනටත් ක්‍රියාත්මකයි.
ඒ, වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරත රේගු නිලධාරීන් හා මුදල් අමාත්‍යවරයා අතර ඊයේ පැවති සාකච්ඡාවද විසඳුමකින් තොරව අවසන් වූ පසුබිමකයි.
වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් රේගු මූලස්ථානයේ කටයුතු මෙම දින 4 තුළ අඩාල වී ඇති අතර, රේගු නිෂ්කාශන අංශයේ කටයුතුද සීමා වී තිබේ.
ඒ අනූව සාමාන්‍ය භාණ්ඩ නිෂ්කාශනය නවත්වා ඇති අතර මේ වන විට නිෂ්කාශනය කරනු ලබන්නේ අල, ළූණු සහ ඖෂධ වර්ග පමණක් බව වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරත වෘත්තීය සමිති පෙන්වා දෙයි.
මෙම තත්ත්වය තුළ දෛනිකව රජයේ ආර්ථිකයට එක්වන රුපියල් බිලියන 4ක පමණ ආදායම රුපියල් බිලියන 2 පමණ දක්වා සීඝ්‍රයෙන් පහළ බැස තිබේ.
මේ අතර මෙම අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය පිළිබඳව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.
පසුගිය වසර දෙක, තුන තුළ රේගු දෙපාර්තමේන්තුවේද ඇතැම් වංචා හා දූෂණ සිදුව ඇති බවට වාර්තා වී ඇත.
මෙම අකටයුතුකම් සහ දූෂණ වලට විරුද්ධ වන රේගු දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන්ට විවිධ දේශපාලන බලපෑම් එල්ල වන බවද වාර්තා වේ.
පසුගිය වසර තුළ රේගු අධ්‍යක්ෂ ජනරාල් ධුරයට නිලධාරීන් 4 දෙනෙකු පත් කිරීමෙන්ම මෙම අර්බුදකාරී තත්ත්වය කෙතරම් බරපතලදැයි අනාවරණය වේ.
රේගු වෘත්තිය සමිති ආරම්භ කර ඇති අකුරට වැඩ කිරීම නිසා මෙරටට ආනයනය කරනු ලබන භාණ්ඩ නිදහස් කර ගැනීම ප්‍රමාද වී ඇත.
මේ හේතුවෙන් රට තුළ අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල පවා ඉහළ යාමට ඉඩ ඇත.
එවැනි තත්ත්වයක් ඇති වුවහොත් ඒ පිළිබඳ වගකීම සම්පූර්ණයෙන්ම රජය භාරගත යුතුය.