මධූෂ්ගේ සෙල්ලම් දිගටම කළ අයෙකු කොටුවෙයි

මධූෂ්ගේ සෙල්ලම් දිගටම කළ අයෙකු කොටුවෙයි

May 7, 2024   06:34 pm

කෙරවලපිටිය අධිවේගී පිවිසුම අසළදී විශේෂ කාර්ය බළකා නිලධාරියෙකු අනතුරට ලක්කර පළායෑමට උත්සාහ කළ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. 

පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්ට ලද තොරතුරක් මත මෝටර් රථයක් පරීක්ෂා කිරීමට යාමේදී එහි සිටි සැකකරු විශේෂකාර්ය බළකා නිලධාරියෙකු ද අනතුරට ලක්කර මෝටර් රථයෙන් පළායාමට උත්සාහ කර ඇති බව සඳහන් වෙයි.

කෙසේවෙතත් අදාළ මෝටර් රථයේ ටයරයක ඇතිවූ දෝෂයක් හේතුවෙන් සැකකරු හට මෝටර් රථය ධාවනය කරවීමට නොහැකිව තිබේ.

එහිදී සැකකරු මෝටර් රථයෙන් බැස පළායාමට උත්සාහ කිරීමේදී පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවෙයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මියගිය පාතාල නායක මාකදුරේ මධූෂ්ගේ අපරාධ ජාලය තවදුරටත් මෙහෙයවීමේ නිරතවූ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන වතුපිටිය පතිරණගේ දමිත් ප්‍රභාසිත අත්තනායක හෙවත් මාකොළ සුද්දා නැමති අයෙකු බව සඳහන් වෙයි.

සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී අදාළ මෝටර් රථයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10 යි මිලිග්‍රෑම් 650ක් පොලිස් භාරයට ගෙන තිබේ.

සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වල දී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 01යි ග්‍රෑම් 22ක් සමග තවත් පුද්ගලයෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වෙයි.

ඔවුන් සතුව තිබී සොයාගත් අයිස් මත්ද්‍රව්‍යවල වටිනාකම එක්කෝටි හතලිස් ලක්ෂයක් පමණ වන බව වාර්තා වෙයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදී තිබේ.