
මෙරට විශාලතම සිමෙන්ති නිෂ්පාදන කර්මාන්ත ශාලාව හම්බන්තොට - මිරිජ්ජවිල අපනයන සැකසුම් කලාපයේ දී ජනාධිපතිවරයාගේ ප්රධානත්වයෙන් විවෘත කර තිබේ.
ආයෝජන මණ්ඩලය ව්යාපෘතියක් ලෙස අක්කර 63ක භූමි ප්රදේශයක පිහිටා ඇති මෙම කර්මාන්තශාලාව වාර්ෂිකව සිමෙන්ති මෙට්රික් ටොන් මිලියන 4 ක් නිෂ්පාදනය කරනු ඇතැයි අපේක්ෂිතය.
2020 වසරේ මාර්තු මාසයේ ඉදිකිරීම් ඇරඹි කර්මාන්තශාලාව සඳහා සිදුකෙරුණු ආයෝජනය අමෙරිකානු ඩොලර් මිලියන 100කි.
කර්මාන්තශාලාවේ වාර්ෂික නිෂ්පාදන ධාරිතාව මෙට්රික් ටොන් මිලියන 04ක් වන අතර පළමු අදියර යටතේ මෙට්රික් ටොන් මිලියන 2.8ක් දේශීය වෙළෙඳපොළට සැපයීමට නියමිතය.
මුළුමනින් ම ස්වයංක්රියකරණය කරන ලද fully automated stacker reclaimer yard ඇතුළුව ගබඩා කාර්යක්ෂමව, අපතේ නොයන පරිදි තිරසර අන්දමින් බාගත හැකි bridge type ship unloaders වැනි නවීන තාක්ෂණික අංග රැසකින් මෙම කර්මාන්තශාලාව සමන්විතය.
රුපියල අවප්රමාණය වීම වලක්වා ගැනීම සඳහා පනවන ලද සිමෙන්ති ආනයන තහනම හේතුවෙන් උද්ගත වී ඇති සිමෙන්ති හිඟයට පිළියමක් ලෙස දේශීය ඉදිකිරීම්කරුවන් සවිබලගැන්වීමේ සහ මෙරටට විදේශ විනිමය ලබා දෙමින් ආර්ථිකයට ප්රමුඛ දායකත්වයක් ලබා දීමේ ආයෝජනයක් බවට මෙය පත්වනු ඇති බව ආයෝජකයින්ගේ විශ්වාසයයි.
අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ, මුදල් අමාත්ය බැසිල් රාජපක්ෂ, වාරිමාර්ග අමාත්ය සහ රාජ්ය ආරක්ෂක, නිවාස කටයුතු සහ ආපදා කළමනාකරණ රාජ්ය අමාත්ය චමල් රාජපක්ෂ, තරුණ හා ක්රීඩා අමාත්ය, සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්යතුමා සහ ඩිජිටල් තාක්ෂණ හා ව්යවසාය සංවර්ධන රාජ්ය අමාත්ය නාමල් රාජපක්ෂ මහතා ඇතුළු අමාත්යවරු රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියේය.
උත්සව සභාවෙන් අනතුරුව ආරාධිත අමුත්තෝ පරිශ්රයේ නිරීක්ෂණ චාරිකාවකට ද සහභාගී වූහ.
"ඉදිකිරීම් ක්ෂේත්රය යනු රටේ දළ දේශීය නිෂ්පාදිතයට දායකත්වය ලබාදෙන ප්රධානත ම අංශයකි. තාක්ෂණය, ආචාරධර්ම සහ තිරසාරත්වය පිළිබඳ සැලකීමේදී අප රටේ ඉදිකිරීම් ක්ෂේත්රයට ගෝලීය වෙළෙඳපොළ තුළ තරගකාරී වාසියක් උදාවී තිබෙනවා. වර්තමානයේ අපට අත්යවශ්ය ආයෝජන විශ්වාසය ශක්තිමත් කිරීම සඳහා මෙම ව්යාපෘතිය මනා පිටිවහලක්වනු ඇති බව මාගේ විශ්වාසයයි," යනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් පළකරමින් එතුමා සඳහන් කළේ, විශේෂයෙන් උසස් තාක්ෂණික නිෂ්පාදන සඳහා මෙවැනි ආකාරයේ ආයෝජන ආකර්ෂණයකර ගැනීම සඳහා හම්බන්තොට අපනයන පිරිසැකසුම් කලාපය සූදානමින් සිටින බවය.
මෙහිදී අදහස් පළ කරමින් අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා ප්රකාශ කළේ, දේශීය ව්යවසායකයින් සවිබල ගැන්වීම මගින් ආර්ථිකය ගොඩනැගීම සඳහා වත්මන් රජය කැපවී සිටින බවය. ලංවා සංස්ථා සිමෙන්ති සමාගම නවෝත්පාදනය සමගින් දෙස්-විදෙස් වෙළෙඳපොළ සඳහා ප්රමිතියෙන් උසස් නිෂ්පාදන පිරිනමමින් එහි මවු සමාගමවන ලංවා සංස්ථා වානේ සමාගමේ ප්රෞඩ උරුමය ඉදිරියට ගෙන යනු ඇති බවට තමා විශ්වාසකරන බව ද එතුමා වැඩිදුරටත් ප්රකාශ කළේය.
ආනයන මත පැනවූ තාවකාලික තහනම හේතුවෙන් ඉදිකිරීම් ක්ෂේත්රයට ඇති වී තිබෙන අපහසුතා සඳහා මෙම කර්මාන්තශාලාව මනා පිළියමක්වනු ඇති බව මුදල් අමාත්ය බැසිල් රාජපක්ෂ මහතා පැවසුවේය.
මේ අතර මාගම්පුර අක්කර 250ක භූමියක ඉදිවන නව වානේ කර්මාන්ත ශාලාව සඳහා මුල්ගල තැබීමත් අද සිදුකෙරුණේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙනි.
https://youtu.be/b-p4ukrqgV4


















































